සරෝජා, පුංචි සුරංගනාවී, සූරිය අරණ, සමනල තටු, බිංදු, සිරි රජ සිරි සහ සිරි පැරකුම් ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නව වැනි සිනමා නිර්මාණය වන සරිගම ගැනයි මේ කතාබහ.

සරිගම හැදුවේ කා වෙනුවෙන්ද?
හ්ම්… මේක පවුලේ චිත්‍රපටයක්. එක තමා නිවැරදි හඳුන්වාදීම.

මේ චිත්‍රපටය ඩිජිටල් තාක්ෂණයෙන් එන්නේ?
ඔව්. ඩිජිටල් තාක්ෂණයෙන් එන්නේ ඒ වගේම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ ඩිජිටල් පහසුකම් සහිත සිනමාහල්වල පමණයි. මුළු ලෝකයේම සිනමාශාලා ඩිජිටල්කරණය වෙලා. අපි විතරක් තම මිලි මීටර් 35 යල් පැන ගිය තාක්ෂණය භාවිත කරන්නේ. මම මේ චිත්‍රපටය හැදුවේ ඉහළම තාක්ෂණයෙන් ඒ නිසා මම හිතුවේ ප්‍රේක්ෂකයන්ටත් ඉහළම තාක්ෂණයෙන් චිත්‍රපටය පෙන්වන්න. එකයි මම එවැනි තීරණයක් ගත්තේ.

ඉන් ඔබට අවාසියක් වෙන්න බැරිද ?
වෙන්න පුළුවන්. මොකද ප්‍රේක්ෂකයන්ගේ වැඩි ආකර්ෂණයක් තියෙන තවමත් ඩිජිටල්කරණය නොවුණු සිනමාහල් තියෙනවා. නමුත් මට අවාසියක් වෙයි පාඩු ලබන්න වෙයි කියලා ප්‍රමිතියෙන් අඩු මිලි මීටර් 35 පිටපත් ගහලා ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න මම කැමැති නැහැ. විශේෂයෙන් මේක මම සිනමා කර්මාන්තයේ ඉදිරිය ගැනත් හිතලා ගත්තු තීරණයක්.

ඔබ සරිගම හදන්නේ The Sound of Music කියන ප්‍රකට ඉංග්‍රීසි චිත්‍රපටයෙන්?
ඔව්. සරිගම ට ගත්තේ මගේ M.A. උපාධිය සඳහා කළ තිර පිටපත. එහිදී මුල් කතාව තුළ තිබ්බ ගැඹුර මම තේරුම් ගත්තා. ඒ වගේම එහි තියෙන සෞන්දර්යාත්මක දේ තුළින් යමක් කරන්න පුළුවන් කියලා හිතුණා. ඒ නිසා තමා මම සරිගම සිනමාවට නැගුවේ, මේක The Sound of Music film එකේ අනුවර්තනයක් මිස කොපියක් නෙවෙයි.

ඇයි ඉතින් අලූත් දෙයක් නොකර අනුවර්තනයක් කලේ?
මේක විශ්ව සාහිත්‍යයේ එන කතාවක් ඉතින් එවැනි දෙයක් චිත්‍රපටයකට නඟන එක කාලීන අවශ්‍යතාව කියලා හිතුණා.

චිත්‍රපටයේ නළු නිළි චරිත ගැන කතාකළොත්?
මෙහි රගපාන්නේ පූජා උමාශංකර්, අශාන් ඩයස්, මාලනී ෆොන්සේකා, සිනෙති අකිලා, ප්‍රමුද්‍රිත.

මරියාගේ චරිතයට පුජාව ගන්න හිතුවේ?
මම මරියාගේ චරිතය ගැනත්, පූජා ගැනත් හොඳින්ම දැන සිටි නිසා මම තීරණයක් ගත්තා ඒ චරිතයට සුදුසුම නිළිය පූජා තමයි කියලා. අද මම සතුටු වෙනවා ලැඛෙන ප්‍රතිචාර එක්ක මගේ තීරණය හරි කියලා.

එතකොට කැප්ටන් ටෝනි?
කැප්ටන් ටෝනි ට ඉන්නෙ අශාන් ඩයස්, ඔහුගේ රඟපෑමේ හැකියාව ගැනත් මම කලක ඉඳන් දන්නවා. මගේ සිරි පැරකුම් චිත්‍රපටියේ පතිරාජ සෙනෙවිගේ චරිතය රගපෑවෙත් අශාන් ඔහු ඒ කැප්ටන් ටෝනිට සාධාරණය ඉෂ්ඨ කළා.

ඔබ මාලනී ෆොන්සේකාට සහාය නිළිය චරිතයක් දුන්නේ ඇ‍යි ?
එහෙම දෙයක් නැහැ. ඇයට ගැළපෙන ප්‍රධාන චරිතයක් සරිගම චිත්‍රපටයේ තිබ්බේ නැහැ. චිත්‍රපටයේ තියෙන ඇයට ගැළපෙන චරිතය තමා ඇය කරන්නේ.

ඔබේ මීළග චිත්‍රපටය ?

මගේ ඊළඟ චිත්‍රපටය අන්ඩර් පෑන්ට්. ඒක වෙනස්ම කතාවක්.

 ඒ වෙනස්ම කතාව ගැන ඉඟියක් දෙන්න බැරිද ?
ඇයි බැරි පුළුවන් ඒ කතාව මානසික ආබාධයක් තියෙන පිරිමි කෙනෙක් ගැන.

ප්‍රධාන චරිතයට ගන්න ඉන්නේ කව්ද?
පුබුදු චතුරංග.

මේ සියල්ලට රේණුකා බාලසූරියගෙන් ලැඛෙන සහය?
ඇය මගේ බිරිඳ නොවන්න මට මෙච්චර සාර්ථක වෙන්න බෑ.