කලාවට ඔබ එන්නේ කොයි කාලෙද ?
මට පුදුම ආසාවක් උනන්දුවක් තිබ්බා මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. ඉතින් මම සා/පෙළ දෙසැරයක්ම කළා. ඒත් ගණන් ෆේල්. ඊට පස්සේ ඉතින් මගේ එකම අරමුණ වුණේ කොහොම හරි මේ කලා ක්ෂේත්‍රයට යොමු වන එක. මම ඒ අරමුණ ඉටු කරගත්තා

ඔබ මුලින්ම එන්නේ වේශ නිරූපණ ශිල්පියෙක් විදියට ?
ඔව්. මම ප්‍රියන්ත සිරි කුමාර සහ ජයලාල් රෝහණ මහතා පිළියන්දල කරපු workshop එකකට සහභාගි වෙලා තිබ්බා. ඊට පස්සේ දවසක ප්‍රියන්ත සිරි කුමාර මහතා
මුණගැහුණු අවස්ථාවක මගෙන් ඇහුවා එයා ගාව සහය වේශ නිරූපණ ශිල්පියෙක් විදියට වැඩ කරන්න කැමති ද කියලා. මට ඕනේ වෙලා තිබ්බේ කොහොම හරි මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. ඒ නිසා ඒ අවස්ථාව මම ඉතාම කැමැත්තෙන් භාර ගත්තා.

.එතැනින් එහාට කොහොමද රංගනය හදාරන්නේ ? 
ලංකාවේ රංගනය හදාරන්න තියෙන ජාතික තරුණ සේවා සභාව, සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ, ජයලාල් රෝහණ මහතාගෙන්, ඒ වගේම ලාල් අයියාගෙන්
මේ හැමෝගෙන්ම මම මේ රංගනය කියන දේ හැදෑරුවා. මම නොගිය තැනක් තියෙනවා නම් ඒ ටවර්හෝල් පදනමට විතරයි. අවසන් කාලය තුළ දී මම ඉගෙන ගත්තේ මහේන්ද්‍ර පෙරේරා අයියාගෙන්.

හැමෝම කියන දෙයක් ලංකාව තුල රංගන පාසලක් නැහැ කියලා ඔබ එක දකින්නේ කොහොමද ?
මෙහෙමයි, ඇත්තම කියනවා නම් ලංකාව තුළ රංගනය නිසි පරිදි හදාරන්න තැනක් නිසි ක්‍රමවේදයක් නැහැ. අද මම දකින්නේ එක එක තැන්වලට ගිහින් එක එක ගුරුවරු යටතේ ගෝලයන් රොතු පිටින් බිහිවීමක් පමණයි.

ඔබ චරිතයක් තෝරා ගනිද්දී මුලිකව සැලකිලිමත් වෙන්නේ ? 
මුලින්ම බලන්නේ කවුද අධ්‍යක්ෂවරයා කියල. මොකද හරි හමන් අධ්‍යක්ෂවරයෙක්, හරි පිටපතක් ඒ වගේම පළපුරුදු කැමරාකරණ ශිල්පියෙක් නම් ඉන්නේ ඒ නිර්මාණය හොඳ නිර්මාණයක් වීමේ ඉඩ කඩ වැඩියි. ඒ අයට වැඩ කරලා හොඳ පළපුරුද්දක් තියෙනවා. ඉතින් මම කැමැතියි එහෙම අය එක්ක වැඩ කරන්න.

නාට්‍යවල ඔබේ සීමාවන් ? 
මම පෞද්ගලිකව තීරණයක් අරන් තියෙනවා. කොටස් 50 ට 60 ට වැඩි නාට්‍යවල රගපාන්නේ නැහැ කියලා.

ඇයි ඒ ?
ප්‍රධාන හේතුව තමා වෘත්තිය තලය තුළ අපිට අසාධාරණයක් වෙනවා. ඒ නිසා ප්‍රතිපත්තියක් විදියට මම ඒ තීරණය තුළ ඉන්නවා. මොකද මෙගා නාට්‍ය එපා කියලා බොහෝ දෙනෙක් කෑගැහුවට එවාට ගත යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ.

වෘත්තිය රංගන ශිල්පියෙක් විදියට ඔය සීමාවන් තුළ ඉන්න පුළුවන් ද ?
ඉතින් ඒක තමා අපිට තියෙන එකම අර්බුදය. නමුත් මේකට රජය මැදිහත් විය යුතුයි. නමුත් මම දකින්නේ නැහැ කිසිඳු මැදිහත් වීමක්. එයාල කරන්නෙත් අපි දිහා බලාගෙන ඔහේ ඉන්න එක. කණගාටුව එවැනි රටක තමා අපි මේ කලාව කරන්නේ.

සම්මාන උළෙලවල් ගැන කතා කළොත් ? 
ලංකාවේ සම්මාන උළෙලවල් තියෙන්නේ කාගේ කාගේ හරි අවශ්‍යතාවක් හෝ උවමනාවන් ඉටු කරගන්න. මේ කලාව වෙනුවෙන් හොඳ රසවිඳිය හැකි නිර්මාණ බිහි කරන්න වැඩපිළිවෙලක් සකස් නොකර මහා ඉහලින් සම්මාන උළෙලවල් තියනවා. ඒකනේ මේ රටේ වෙන්නේ.

ඔබත් සම්මානනීය නළුවෙක් ? 
ඔව්. මට සම්මාන ලැඛෙනවා. ඒ වෙනුවෙන් මා නිර්දේශ වෙනවා. හැබැයි ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. මම ඉන්න ප්‍රතිපත්තිය තුළ මම දායක වෙන්නේ
කොටස් 40 ත් 60ත් අතර නිර්මාණවලට. ඉතින් ඒ නිර්මාණ ගත්තම යම්කිසි රසවින්දනයක් තියෙන, හරයක් ඇති, මුල මැද අග සහිත නිර්මාණ. ඒ නිසා තමා එවැනි නිර්මාණවල ඉන්න අය අතර මමත් සම්මානවලට නිර්දේශ වෙනවා සහ සම්මාන ලැඛෙනවා. ඕක තමා ඇත්ත.

රංගන ශිල්පියෙක් විදියට ඔබ රංගනය ගැන තෘප්තිමත් ද?
කොහොමද තෘප්තිමත් වෙන්නේ. අපිට අල්ලපු රට ඉන්නදියාව ගන්නකෝ, ඉන්දියාවේ හැදෙන චිත්‍රපට දිහා බලන්න. ඒ රටේ ඉන්න නළු නිළියන්ට ලැඛෙන අවස්ථාවන්
 දිහා බලන්නකෝ. ඒ දිහා බලලා අපි දිහා බැලූවම අපි මොනවද කරන්නේ කියල හිතෙනවා. අපි තවම මේ පාසැල් නාට්‍ය කරනවා වගේ තැනක ඉන්නේ. රටේ අවශ්‍යතාව උවමනාව වෙනුවෙන් වැඩ කරන කිසි කෙනෙක් මම දකින්නේ නැහැ. අපේ පරම්පරාවේ අය මෙහෙම හරි කලාව කරයි. මට හිතා ගන්න බැහැ ඉදිරි පරම්පරාව මේ කලා ක්ෂේත්‍රය තුළ කොහොම කටයුතු කරයි ද කියලා.

ඔබේ නිෂ්පාදක භූමිකාව ගැන කතා කලොත් ? 
නිෂ්පාදකයෙක් හැටියට මම අනාථ වෙලා ඉන්නේ. මොකද මම මට කියල ගත්ත එකම ඉඩමක් තිබ්බා. අන්තිමට මට ඒකත් නැති වුන එක විතරයි වුණේ. මෙතෙක් පැවතුන හා පවතින රජයන්වල කිසිම කෙනෙක් මේ කලාව රැකගන්න කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් නිර්මාණාත්මක පැත්ත හිතල නිර්මාණ කරන මිනිස්සුන්ට අන්තිමට වෙන්නේ ගෙවල් දොරවල් පවා අහිමි වෙන එක.

අධ්‍යක්ෂවරයෙක් වීමේ බලාපොරොත්තුවක් නැද්ද ?
තියෙනවා. මේ රට ලස්සන රටක් වෙලා නිර්මාණාත්මක මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් පසුබිමක් බිහිවුනදාට මම අධ්‍යක්ෂවරයෙක් වෙයි. මොකද මම දැන් අවුරුදු දෙකක්
 තිස්සේ චිත්‍රපටයක් සහ නාට්‍යක් කරන්න පිටපත අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. තාම නිෂ්පාදකවරයෙක් නැහැ. මේ රටේ දක්ෂ අධ්‍යක්ෂවරු සහ පිටපත්  රචකයින්
 ඉන්නවා. නමුත් ඒ අයට එළියට එන්න නිර්මාණ කරන්න අවස්ථාවක් නැහැ.

කවද හරි දවසක ඔබේ දරුවන් මේ කලාව තුළ නියැලෙනවට කැමතිද ?
ඔව්. මෙහෙමයි මම හරි කැමැතියි. මො කද මම මේක තෝරා ගත්තේ අහම්ඛෙන් නෙවෙයි. මේ කලා ක්ෂේත්‍රය කියන්නේ වෙනත් වෘත්තීන්ට වඩා සුන්දර නිදහස් රැකියාවක්. හැබැයි ඉතින් මම හිතනවා මගේ දරුවන්ගේ කාලය වෙද්දී හරි යමක් කමක් තේරෙන නායකයෙක් ඇවිත් ඉඳීවී කියල.

අනාගත බලාපොරොත්තු ?
එකම බලාපොරොත්තුව දරුවන්ට ගෙයක් හදල දෙන එක.