දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකේය ගැමි ජන සමාජයේ පැවැති ජීවිතය සහ මරණය පිළිබඳ ඇති කුතුහලයත්, පැරැණි මන්ත්‍ර ගුරුකම් සහ
 මිථ්‍යා විශ්වාස පිළිබඳ ඔවුනොවුන් තුළ වූ අරගලයත් මේ හරහා කථා කළා.
 

 

Tele Mega Hits  තුළින් අපි ඔබට සමීප කරන්නේ ලාංකීය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ඔබ දුටු ඔබේ රසවින්දනය වර්ධනය කරන්නට සමත් වූ ගුණාත්මක නිර්මාණ ගැන. බොහෝ දෙනා අතර පවතින චෝදනාව බවට අද පත්වන්නේ රසවිඳිය හැකි ගුණාත්මක නිර්මාණ දැන් දැන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළින් ගිලිහී යන බව. නමුත් එවැනි චෝදනාවට ලක් නොවන නිර්මාණත්තිඛෙනවා. ”විෂ්ණු සංක්‍රාන්තිය” කියන්නේ ඊට හොඳ නිදසුනක්. ”විෂ්ණු සංක්‍රාන්තිය” හරහා දිග හැරුණේ දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකේය ගැමි ජන සමාජයේ පැවැති ජීවිතය සහ මරණය පිළිබඳ ඇති කුතුහලයත්, පැරැණි මන්ත්‍ර ගුරුකම් සහ මිථ්‍යා විශ්වාස පිළිබඳ ඔවුනොවුන් තුළ වූ අරගලය පරීක්ෂාවට ලක් වූ ආකාරයයි.

”විෂ්ණු සංක්‍රාන්තිය” පුංචි තිරයට ගෙනාවේ පුංචි තිරයේ අත්දැකීම් බහුල අධ්‍යක්ෂවරයෙක් වන තුසිත ද සිල්වා මහතා ඔහුගේ පහළොස් වන ටෙලි නිර්මාණය ලෙසයි. මෙහි පිටපත් රචකයා වන්නේ මායාදුන්නේ බණ්ඩාරයි. ”විෂ්ණු සංක්‍රාන්තිය” හරහා නිෂ්පාදිකාවක් ලෙස කලා ලොවට පිවිසුනේ ඇන්ජලා කුරුප්පු මහත්මියයි.

ඒ වගේම තමා ”විෂ්ණු සංක්‍රාන්තිය”හැඩ වැඩ කළ රංගන ශිල්පීන් සහ ශිල්පිණියක් ගැනත් සිහිපත් කළ යුතුමයි. හොඳ නිර්මාණයකට දායක වීමේ ආසාව උනන්දුව කැපකිරීම්මේ  සියල්ල සතු කණ්ඩායමක් තමා මේ සඳහා එක්ව සිටියේ. නදීෂා හේමමාලි, බිමල් ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ති චතුරානි, දමිතා අබේරත්න, බුද්ධදාස විතානආරච්චි, නලින් ප්‍රදීප් උඩුවෙල, නිලන්ති විජේසිංහ, ප්‍රතිභා හෙට්ටිආරච්චි, රහල් බුලත්සිංහල, සම්පත් ජයවීර, පවිත්‍රා වික්‍රමසිංහ, සෝමසිරි කොළඹගේ ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන්.

තමන්ගේ චරිතයට කළ කැප කිරීම් ගැන සිහිපත් කරද්දී මේ නාට්‍ය සමග හොඳ උදහරණයක් තියෙනවා. ඒ තමයි ගුරුන්නාන්සේගේ චරිතය නිරුපණය කළ අපිට ඉන්න දක්ෂ ඒ වගේම ප්‍රවීණ නළු ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා. ඔහුට ලැඛෙනවා සනත් අබේසේකර විසින් සිනමාවට ගෙන ආ අනගාරික ධර්මපාලතුමාගේ ජීවන චරිතය ඇතුළත් සිනමා නිර්මාණයේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය නිරුපණය කිරීමට. නමුත් ඔහුට ඒ චරිතය අත්හරින්න සිදු වන හේතු අතර ප්‍රධාන හේතුවක් වෙන්නෙත් මේ ”විෂ්ණු සංක්‍රාන්තිය” නාට්‍යයයි. ඒ ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා නම් කියන්නේ මෙවැනි දෙයක්. ”අනගාරික ධර්මපාලතුමාගේ චරිතයට ආරාධනා ලැඛෙන විට මා විසින් භාරගත් ටෙලිනාට්‍ය දෙකක් තිබුණා. ඒ දෙක වෙනුවෙන් රැවුල අවශ්‍යයි. එ නිර්මාණ දෙකත් සුවිශේෂී නිර්මාණ දෙකක්. ඒ වන විටත් ඒවායේ රූගත කිරීම් සිදු කෙරෙමින් පැවතුණා. ඒ තුසිත ද සිල්වාගේ ”විෂ්ණු සංක්‍රාන්තිය” හා සංජය නිර්මාල්ගේ ”නාග වල්ලි ”යන නාට්‍ය දෙක. ”විෂ්ණු සංක්‍රාන්තිය” ගත්තොත් මම එහි කළේ ගුරුන්නාන්සේ කෙනෙක්ගේ චරිතය. නමුත් ඒ ගුරුන්නාන්සේගේ චරිතය සුවිශේෂිත එකක්. ඔහුගේ පුතා මිය යනවා. කවදා හෝ දවසක තමන්ගේ මියගිය පුතාට පණ දෙන්නට හැකිවේය කියන විශ්වාසය තුළයි මේ ගුරුන්නාන්සේ කටයුතු කරන්නේ මෙය නාට්‍ය ක්ෂේත්‍රයට එක් වුණු සුවිශේෂී නාට්‍යක්. ඉතින් ඒ වෙනුවෙන් මට කැප කිරීමක් කරන්න වුණා”.

මේ අප ඔබට සමීප කළේ එක් සිදුවීමක් පමණයි. මේ ”විෂ්ණු සංක්‍රා න්තිය” නාට්‍යයට දැක්වූ සාධාරණත්වය සහ දායකත්වය අපරිමිත බව අදටත් අධ්‍යක්ෂ තුසිත ද සිල්වා සිහිපත් කරන්නේ මේ කණ්ඩායමේ සියලූ දෙනා ගැනම ඉතා හෘදයාංගමයි.

එ වගේම තමා මේ නාට්‍ය රූගත කළ ප්‍රදේශ ගැනත් තුසිත ද සිල්වා මහතා සිය මතකයන් අවදි කළේ මෙහෙමයි. ”අපි මෙය රූගත කළේ කළුතර අවට. ඒ වගේම අත්වැල්තොට කියන අති දුෂ්කර ප්‍රදේශයේ. ඉතින් අපිට තිබ්බා කළු ගගේ ගුරුන්නාන්සේගේ පුතාගේ මළ මිනිය පා කරන දර්ශනය රූ ගත කරන්න. අපි අඩි 60ක් විතර ගැඹුරු කළු ගගේ පාරුවක බිමල් ජයකොඩි තියලා තමා ඒ දර්ශනය රූ ගත කළේ. ඒ දර්ශන නම් අපිට අමතක කරන්නම බැහැ. තව අවස්ථාවක තිබ්බා දමිතා ට බිමල් ජයකොඩි ව බිම දිගේ ඇඳගෙන එන්න. ඒ දර්ශනයේදී එක සැරයක් දමිතා බිම පවා ඇද වැටෙනවා.

මේ සියලූ කැප කිරීම්වල අවසානයේ නිර්මාණය වුණු ”විෂ්ණු සංක්‍රා න්තිය” නාට්‍ය සතු ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය නිසාම 12 වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම නළුවා ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස්, වසරේ විශිෂ්ටතම නිළිය ලෙස නදීෂා හේමමාලිත්, වසරේ විශිෂ්ටතම සහාය නිළිය ලෙස දමිතා අබේරත්න සහ (2016) සුමති සම්මාන උලෙළ සම්මාන සඳහා නිර්දේශිත නාම අතර වසරේ හොඳම ටෙලි නාට්‍ය නළුවා ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස් සහ හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ ලෙස දේශක බමුණුමුල්ලත්, හොඳම කැමරාකරණය ලෙස තිසර තුල්වාන් නිර්දේශිත නාම අතර ප්‍රධාන තැනක් ගත්තා. ඒ නිර්දේශ අතර සම්මානයන්ට පාත්‍ර වන්නට (2016) සුමති සම්මාන උලෙළ දී හොඳම ටෙලි නාට්‍ය නළුවා ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාත් , 12 වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ඨතම සහාය නිළිය ලෙස දමිතා අබේරත්න වාසනාවන්ත වුණා. තවත් සිහිපත් කළ යුතු විශේෂත්වයක් වන්නේ වසරේ විශිෂ්ටතම නළුවා, නිළිය සහ වසරේ විශිෂ්ටතම සහාය නිළිය යන සම්මාන ත්‍රිත්වයටම මේ ”විෂ්ණු සංක්‍රාන්තිය”නිර්දේශ වීමයි. මෙවැනි තවත් සාර්ථක ගුණාත්මක නිර්මාණ බිහි කරන්නට තිර පිටපත් රචකයින්ට, අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට ශක්තිය ලැබේවා යන පැතුමෙන් මේ ලිපිය අවසන් කරන්නට මීළග Cellywood Star තුළින් තවත්  මෙවැනි අපූරු නිර්මාණයක් සමීප කරන පොරොන්දුව අපි ඔබට ලබා දෙමින්.