උදයකාන්ත වර්ණසූරිය කියන්නේ  අපේ  රටේ ඉන්න ජනප්‍රිය තලයේ සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඔහු කවදත් අලූත් මුහුණුවරකින් එකිනෙකට වෙනස් නිර්මාණ තිලිණ කළා. 1997 දී ”මහමෙර උසට ”චිත්‍රපටය තුළින් සිනමාවට පැමිණි ඔහු මේ දිනවල සිය 22 වැනි නිර්මාණය වන ”වස්සානයේ සඳ” චිත්‍රපටයේ වැඩ කටයුතු සමග කාර්යබහුල වී සිටිනවා. ඔහුගේ නවතම චිත්‍රපටය පිළිබඳ බොහෝ දෙනෙක් උනන්දු වන නිසා අපි හිතුව ඒ ගැන ඔහුගෙන්ම අහලා දැන ගන්න.

”වස්සානයේ සඳ” මොනවගේ චිත්‍රපටයක්ද?
එක පැත්තකින් මේක හරිම සුන්දර ආදර කතාවක්. මානව බැඳීම් අරඹයා ඇති වන සතුට වගේම එම බැඳීම් බිඳ වැටීම තුළ ඇතිවන චිත්ත සන්තාපයන් මෙම චිත්‍රපටය පුරා දැක ගන්න පුළුවන්. තව පැත්තකින් මේක පවුලේ හැමෝටම එකට පුළුවන් විනෝදාත්මක චිත්‍රපටයක්. මෙහි තිර පිටපත හරි ප්‍රබලයි කියල මට හිතෙනවා  හිමිවීම් අහිමිවීම් අතර ජීවත් වන මිනිසුන්ගේ කතාවක් තමයි ”වස්සානයේ සඳ” චිත්‍රපටය. ඔබ නවක රංගන ශිල්පීන්ට අවස්ථාවක් ලබා දෙන අධ්‍යක්ෂවරයෙක් . 

”වස්සානයේ සඳ” චිත්‍රපටයෙත් නවකයින්ට අවස්ථාවක් දීලා තියෙනවද?
ඔබ කිව්වා හරි. මම මේ ක්ෂේත්‍රයට නවක රංගන ශිල්පීන් හඳුන්වා දී තිබෙනවා. මේ චිත්‍රපටයෙත් එහෙම තමයි. පියුමි හංසමාලි, අනුජ් රණසිංහ, ඕෂධී හිමාෂා, ඇන්ජලෝ සංජීව් කියන නවක තරුණ රංගන ශිල්පීන් තමයි මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ   ඔවුන් සිනමාවට අලූත්. ඒ නිසා ඔවුන්ව මට අවශ්‍ය විදියට හසුරුවලා ඔවුන්ගේ උපරිම දක්ෂතාවය චිත්‍රපටයට එක් කරන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. අලූත් මුහුණු දකින්න ප්‍රේක්ෂකයන් කැමතියි. ඒ වගේම මම හිතනවා ඔවුන්ගෙන් මගේ චිත්‍රපටයට ලොකු ආලෝකයක් ලැබුණා කියලා.

තරුණ පරම්පරාවක් එක්ක වැඩ කරන එක අපහසුද?
නැහැ. මම තරුණ පරපුරත් එක්ක නිතරම වැඩකරන කෙනෙක්. ප්‍රවීණ, ආධුනික, තරුණ කියල මගේ වර්ගීකරණයක් නෑ. මම හැමෝටම සලකන්නේ එකම විදියට. ඒ නිසා රංගන ශිල්පීන් සමග කටයුතු කිරීමේදී මට කිසම ගැටළුවක් මතු වෙලා නෑ. ඒ වගේම නිර්මාණයක් කරනවිට ඒ වෙනුවෙන් මම මට හැකි උපරිමයෙන් කැපවෙනවා. ඒ දේ තරුණ රංගන ශිල්පීන් දකිනවා. ඒ නිසා ඔවුන් නිරායාසෙයන්ම පෙළඹෙනවා තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරන්න. ඔවුන් වෙනුවෙන් වෙහෙසෙනවා, කැපවෙනවා. ඒ තුළ මට අවශ්‍ය දේ සිද්ධ වෙනවා. ඒ නිසා එදා මෙදා තුර රංගන ශිල්පීන් නිසා මම නම් කිසිම ගැටළුවකට මුහුණදීලා නැහැ. මේ ඔබේ 22 වැනි චිත්‍රපටය.

”වස්සානයේ සඳ” චිත්‍රපටය ඔබේ අනෙක් නිර්මාණ වලින් වෙනස් වෙන්නේ කොහොමද?
මගේ අනෙක් නිර්මාණත් එක්ක ගත්තම ” වස්සානයේ සඳ” චිත්‍රපටය හරිම ආකර්ශනීය චිත්‍රපටයක්. ඒ ආකර්ශනීය බව ඇති වෙන්න හේතු කිහිපයක්ම තිඛෙනවා. එකක් තමයි මෙහි රූපගතකිරීම් වැඩි වශෙයන් සිදුවෙන්නේ ඕස්ට්‍රේලියවේ සිඩ්නි නුවර. සිඩ්නි කියන්නේ ලෝකයේ සුන්දරම නගරයක්. ඒ වගේම ලංකාවේ සුන්දරම ප්‍රදේශ කිහි පයකම අපි රූපගත කිරීම් සිදු කරනවා. ඒ වගේම මෙහි කතා තේමාව අනෙක් නිර්මාණවලට වඩා වෙනස්. ප්‍රේම කතාවක් වගේම මෙය අනුවේදනීය කතා වක්. චිත්‍රපටය අවසන් වෙන්නේ කිසිවෙකුත් නොහිතන තැනකින්  ඒ වගේම සංගීතය තුලිනුත් වෙනසක් කරලා තියෙනවා. කුලරත්න ආරියවංශ, මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් විමලවීර වැනි ප්‍රවීණයන් තමයි ”වස්සානයේ සඳ” චිත්‍රපටය වෙනුව න් ගී පද රචනා කළේ. සංගීතය අචාර්යය රෝහණ වීරසිංහන්ගෙන්. සුනිල් ඒදිරිසිංහ , අමල් පෙරේරා, අභිෂේකා විමලවීර, දුමාල් වර්ණකුලසූරිය, උරේෂා රවිහාරිගේ ගායනයන් නිසා චිත්‍රපටය තව දුරටත් ආකර්ශනීය නිර්මාණයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

ඔබේ නිර්මාණවලට අපේ රටේ හොඳ ඇගයීමක් ලැබුනා කියලා ඔබ විශ්වාස කරනවද?
ඇත්තටම මම නිර්මාණයක් කරන්නේ ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙලා.ඒ නිසා මම කරපු හැම නිර්මාණයක් ගැනම මට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මගේ නිර්මාණවලට හොඳ ප්‍රතිචාර ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණා. මම හිතනවා එය හොදටම ප්‍රමාණවත් කියලා.

”වස්සානයේ සඳ” චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන්වන්නේ කවද්ද?
ඇත්තටම මගේ තව නිර්මාණ දෙකක් තිරගතවෙන්න තියෙනවා  එකක් තමයි ”බන්ධන” චිත්‍රපටය. මේක horror film එකක්. අනිත් චිත්‍රපටය තමයි ”මධුර චාරිකා”. මේ චිත්‍රපට දෙක තිරගත වුනාට පසුව, මේ වසර අවසන්වෙන්නට කලින් ”වස්සානයේ සද”චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන් වෙයි.

මේ වෙනකොට තවත් අලූත් නිර්මාණයක් ගැන හිතලා තියෙනවද?
ඔව්. බොහෝ දුරට එහි නිෂ්පාදනයත් මා විසින්ම සිදු කරන්න ඉඩ තියෙනවා  මොකද ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනය කරන්නටත් මගේ බලාපොරොත්තුවක්
තිඛෙනවා. මගේ චිත්‍රපටියක් මා විසින්ම නිෂ්පාදනය කරන කොට මගේ නිර්මාණය මට අවශ්‍ය ලෙස කරන්නට මට නිදහසක් තියෙනවා. එක නිර්මාණයක් සාර්ථක කරගන්න පහසුවක් වෙයි කියල මම විශ්වාස කරනවා.

SHARE: RATE:12345